Tuesday, May 1, 2018

" මේක අපේ රට නෙවෙයි මල්ලි, මේක උන්ගේ රට. අපි පණුවෝ " -නාමල් ජයසිංහ, 'සහෝදරයා '-


බුම්මන් ඉන්නවා අහස දැන්
මුළු රෑම වලහින්නක් වගේ අඬලා...
අපි ඉතින් බලන් ඉන්නවා
ඕවා ඔක්කොම බත් හැලිය ඉදෙනකම්
විතරක් හින්ද.
ඕවා ඔක්කොම,
තව ඡන්දයක් එනකම්,
තව බද්දක් ගහනකම්,
රුපියල තව ටිකක් පා වෙනකම්,
ඒ පාවෙන සැහැල්ලුව ඔලුවට දැනෙනකම්
ඒ දැනෙන අතරේ උන් තව බැංකුවක් කොල්ල කනකම්
විතරක් හින්දා...
ඕවා  ඔක්කොම
තව පොහොට්ටුවක් පිපෙනකම්,
අලියෙක් මදකිපෙනකම්,
සීනුවක සද්දෙට
හක්ගෙඩියක් එකතු වෙනකම්
(අප්‍රමාණ භක්තියට) ඒ සද්දෙට මයිල් කෙලින් වෙනකම්
විතරක් හින්දා...
ඕවා ඔක්කොම,
ඉල් මහේ රත් මල් පිපෙනකම්,
හරි කම්කරු දිනේ හොයාගන්නකම්,
බණ පදයක් ගිරිය යටින් ඇහෙනකම්,
බොක්කේ දඩමස් දිරවනකම්
අපේ බඩගිනි නිවෙනකම්
විතරක් හින්දා...

අපි ඉතින් බලන් හිටියා
නිදහස ලැබෙනකම්,
රට පෙරට යනකම්,
විප්ලවය දිනනකම්,
යහමින් පාලනය කරනකම්,
දහ සැරේකට වඩා පැරදී පැරදී දිනනකම්
ඕවා ඔක්කොම අපිට සෙතක්
වෙනකම් විතරක් හින්දා

තවත් ඉතින් බලන් ඉමු,
ආයෙත් ඉර රාශි පනිනකම්,
පොලිස්පති ගෑ තෙල් හිසෙන් බේරෙනකම්,
තව අවුරුද්දකට හොඳින් නාගන්නකම්,
තවත් තුන්-මඟුලක් එනකම්,
මේවා ඔක්කොම
අපේම ගොං-කන් හින්දා.

-උත්තරාදෙවී-

01.05.2018 (කම්කරු දිනය සමරන උන්ට)
05.01.2018 (කම්කරු දිනය නො-සමරන උන්ට)



No comments:

Post a Comment