Wednesday, April 11, 2018

ඇති.

 
උඹ ගිහින් මම තනි  උනා හිතෙන 
හැම වාරෙකදිම
හැම දවසකදිම 
දුක අකුරු කර, අකුරු කඳුළු කර 
ඇඩුවා ඇති මම 
උඹටම ඇහෙන තරමට 
වදයක් වෙන තරමට 
මටම කියව කියව 
ඇඩුවා ඇති මම
මම නොදුටු මළ සිරුරට 
මම නොදුටු අළු බඳුනට
මම නොදුටු උඹේ මරණෙට
ඇඩුවා ඇති මම  
ඇඩුවා ඇති මම...

-උත්තරාදේවි-

4 comments:

  1. හදවතේ ගැඹුරුම තැනක් කෙනිත්තුනාම සර්වාංගයටම දැනෙන රිදුම, වේදනාව හරිම ලස්සනට අකුරු කරලා උත්තරා දේවි ඔබ... මේ කවිය දෙවිදියකට මම දකිනවා...

    එකක්, තමන්ට විරහ වේදනාව දීපු කෙනා මලා යැයි මනසින් මවාගනිමින් වේදනාව සමනය කරන්නට වෙරදරන කෙනෙක්ගේ කථාවක්. මන්ද, ඔහු හෝ ඇය ජීවත්වෙලා සිටියදී ලැබූ ආදරය කෙතරම් විශ්වාස කලාදැයි කියතොත්, පණගැහෙන කල ඒ ආදරයේ විරහව විඳීම ඔහුට හෝ ඇයට සිහිනයක්ම වූ නිසා...මළකඳක් වෙනුවෙන් ඇඩීමෙන් ඵලක් නොවන බව ඔහු හෝ ඇය පසක් කරගෙන ඇත.

    දෙවැන්න අනාගත කාලය ගැන සිහින දකිමින් අනාගතයේ ජීවත් වුන පුද්ගලයෙක්ගේ කථාවක්.. ඔහු හෝ ඇය ආදරයෙන් වෙලී සිටින සමයේ බිය වුයේ කිසියම් දිනක විවාපත් වූ කලෙක තමන්ට පෙර තමන්ගේ සැමියා/බිරිඳ මියගිය කලෙක ඒ විරහ වේදනාව කෙසේ විඳගනිම්ද කියාය. නමුත් විවාහයට ප්‍රථම ඔහුට/ඇයට ආදරයේ විරහ වේදනාව හිමිවී ඇත:
    "මම නොදුටු මළ සිරුරට
    මම නොදුටු අළු බඳුනට
    මම නොදුටු උඹේ මරණෙට
    ඇඩුවා ඇති මම"...
    මේ වචනවලින් ඔහු/ඇය තමන්ගේ අනාගත සැමියා/බිරිඳ කරගත් ආදරණීය සිතුවිලිවලට ස්ථීර සමුගැනීමක් ලබා දී ඇත.

    උත්තරා දේවී...තවත් ලියන්න...ඔබට ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. ඔබෙ අරුත් පැහැදිලි කිරීම මගේ වචන වල වටිනාකමක් එකතු කල බව දැනෙනවා. කවියට අරුත් හා වටිනාකම් දෙන්නේ ඔබ. ඔබ නැති තැන කවිද නැත.

      Delete
  2. උත්තරා දේවි..නිහඬතාවය බිඳින්න ඕනෙ කියල හිතුන මේ නිමේෂයේ දී මෙහෙම සටහනක් තබමි...මේක හරි ප්‍රබල වැඩක්. ..මොකද තමුන් හරි ලස්සන මනුෂ්‍යයෙක් නිසා..භෞතිකව ක්ෂුද්‍ර ජීවියෙක් වුනාට අභෞතිකව විශ්වීයයි තමුන්
    . .අප ජීවත් වන මේ සමාජයේ මේ මොහොතේ ආත්මීය අභ්‍යන්තරය තුළ මෙන්ම, ආත්මීය ඝට්ටනය තුළින් ගොඩක් අයට නොපෙනෙන දේවල් සංජානනය කරන්න පුළුවන් මන ඇසැක් ඔයාට තියෙනවා...ඒක මේ විදියට නිරාවරණය විය යුතුමයි...අඛණ්‌ඩව මේ වැඩේ කරගෙන යන්න...😊

    ReplyDelete
    Replies
    1. මේ සූක්ෂමව සංවිදිත වුනු සමාජේ මම හරි නූගත් කියලා මට හිතෙනවා. මේ වෑයම උගතෙක් වෙන්න. ඔබෙන් සහ සකල සමාජයෙන් මා උගත් හා මට උගතහැකි දේ බොහොමයි. වැඩේ ඉදිරියත් එක්ක තවත් දේ උගන්නයි කියලා මම හිතනවා.

      Delete