Friday, May 11, 2018

මතක ගස්


උඹ යනෙන ගමන් 
දකින තඩි මාර ගස් 
ලං වෙලා බලපන් 
පරිස්සමින් 
මගේ මතක රැහැන්
උඹේ හිතේ වදින්න පුළුවන්.

- උත්තරාදේවි -

Thursday, May 10, 2018

පොම්පෙයි ප්‍රේමය

මහා ලෝදිය ගලන් එද්දිත් 
මම දැක්කේ උඹ විතරමයි.
ජීවිත කාලෙම මා එපා කිවූ උඹ 
අන්තිම සැරේට හරි බදාගන්න ඇත්නම්...
මගේ ඔලුවේ තිබුනේ එච්චරයි.

ඉතින් මං උඹව බලෙන්ම බදාගත්තා.
උඹ දිවුවා නම් ඒ වෙලාවේ 
බේරෙන්නත් තිබුන.

ඒත් දැන් අපි දෙන්නම
කෞතුකාගාරෙක 
වීදුරු මිනී පෙට්ටියක 
සදාකල් එකට නිදන 
ලෝ සුපතල පෙම් යුවලක්!

නරකද...සොඳුරිය...
"කාලය කොතරම් නපුරුද!?" උඹට...
කෝ උඹේ මහන්තත්ත කම?

උඹව බදාගත්තේ මම කියල දැක්කම 
උඹේ ඇස් දෙකට ආපු තරහ...
ඒ ආපු තරහ උඹේ සුමුදු තොල් වලින් 
පිට කල මිනීමරු වචන...
මාව සීතල කරලා මරලා දාන්නම හැදුණු 
ඒ ඇස්, ඒ වචන,
දැන් සදාකාලිමවම මගේ!

නරකද...සොඳුරිය...
"කාලය කොතරම් නපුරුද!?" උඹට...

තාවකාලික ජීවිතය උඹ දින්නට,
සදාකාලික මරණයේ දිනුම මගේ.

- උත්තරාදේවි -



Tuesday, May 8, 2018

අහස කඩාගෙන වැටුනොත්...


නිදාගෙන ඉන්න ඔලුව උඩට 
අහස කඩාගෙන වැටුනොත්, 
උඹ දුවනවද? 
හීනේ බලලම යනවද?
මෙහෙම බලනකොට තරු
ලස්සනට දිලිසෙන්ට තිබුනට 
ඔලුවට කඩාගෙන වැටුනොත් 
තරු ගැණ්නහැකි එලොව...
නිදාගෙන ඉන්න ඔලුව උඩට 
අහස කඩාගෙන වැටුනොත් 
උඹ දුවනවද?
කොච්චර ලස්සනට තිබුනත් 
සමහර සමහර දේවල් 
දුරින් තියන් බලන් ඉන්න 
ඒකමයි ඇඟට ගුණ...
නිදාගෙන ඉන්න ඔලුව උඩට 
අහස කඩාගෙන වැටුනොත් 
උඹ හීනේ බලලම යනවද?


- උත්තරාදේවි -

සමනලයා සහ මල.

Click: Ishanka Dilshan 

සමනලයෙක්

නියඟලා අලේ
ගොඩ අරන් කාලා
මලට දොස් කිවුවලු
"උඹ නිසයි
මේ ඔක්කොම"
කියලා.


- උත්තරාදේවි -

Monday, May 7, 2018

හිරකාරයෝ

'Faces' by Michael Lang 
මම මේ කියන්නේ ඔයාගේ ඇතුලේ ඉන්න අය ගැන; ඔයා නෙවෙයි, මේ හැමෝම දන්න ඔයා නෙවෙයි. ඔයා ඇතුලේ ඉන්න අය තමයි මම දන්නේ. ඒ ඇතුලේ ඉන්න අයට රූපයක් ගානේ දුන්නොත් ඒ එකක්වත් ඔයාගේ රූපෙට සමාන නොවෙන්න පුළුවන්. වයසින්, පෙනුමින්... මම දන්නේ නෑ. එත් එහෙම වෙන්න පුළුවන්. මේ එක මිනිහෙක් අස්සේ තව මිනිස්සු ගානක් ඉන්නවා. ඒ ඇතුලේ ඉන්න සමහර මිනිස්සු ඇතුලෙම මැරිලා ගිහින්. අපි මළ මිනී එක්ක ජීවත් වෙනවා වෙන්න පුළුවන්. සමහර ඇතුලේ ඉන්න චරිත එලියට පෙන්නේ තවත් එහෙමම චරිතෙකට විතරයි. අපි හිර කූඩු. ශරීර කූඩුව කියන්නේ මේකට නිකම් නෙවෙයි. වැරදි කරපු, නොකරපු අපේම චරිත, අපේම පෞරුෂයන් අපි මේ කූඩුව ඇතුලට දාල වහලා තියෙන්නේ. හරියටම පොලිස් කූඩුවක් වගේමයි. ඇප දීලා එලියට ගන්න තරම් කෙනෙක් එළියෙන් හම්බෙනකම් අපි ඇතුලේ ඉන්න මේ චරිත හිරබත් කනවා. සමහර වෙලාවට සමහර චරිත ජීවිතාන්තය දක්වා ඇතුලේ. නොකළ වරදකට... ඇප නැතුව...

- උත්තරාදේවි -

Sunday, May 6, 2018

මිනීමරුවකුගේ කෙටි කතාව


දෙපා තමන් හට යා යුතු තැනට හසුරුවා ගැනීමට තවමත් වෙර දරන ඔහුට, එහි පර තෙරට පැමිණි ඇය, එවන් එක් ගමනකදී ඈ කාචයේ සටහන් කරගත් එක රූපයක් පෙන්විය.
ඔහුගේ වියලි, අක්‍රිය දෙපා මෙන් නැති, නොඉවසිලිමත්, පිපාසිත ඇස් මත වැකුණු ඒ රූපයට ජනිත කල හැකි වූ පද සීමාන්තික විය.
 "ආ...ඉරිසියයි" '

"එහෙනම් ආයේ එවන්නේ නෑ." ඈ ප්‍රත්‍යුත්තර බැන්දාය.

"අනේ" ඔහු ලයාන්විතව ඇරඹි ඒ වැකිය හදිසියේ පිතෘමූලික සමාජ සංකල්ප වලින් කෙලෙසා දමන ලදින්, එය අවසන් වූයේආරම්භක ලයාන්විත බවේ අනිත් කෙලවරෙනි. "මරනවා."

මෙවර වදන් ප්‍රවේශම් කරගත් ඇයට සිනහව ප්‍රවේශම් කරගත නොහැකි විය.

"එකටත් හිනා වෙනවා."
"ඔවු ඉතින් මට ප්‍රශ්නයක් නෑ මැරුවට. ඔයාට තමයි වදේ. ඒකයි හිනා ගියේ."
"ආ...ඇයි මට වදේ?"
"මරන්නයි, මරපුවා අස් කරන්නයි, මැරුවා කියලා හිත හිත ජීවත් වෙන්නයි, ඒ නිසාම ටික ටික මැරෙන්නයි...වදේ නේ."
"නැහැ. මැරුවට පස්සේ මං ජීවත් වෙයි කියලද හිතන්නේ? මට එච්චර හයියක් නෑ."
"වචන පාවිච්චි කරන්න පුළුවන් තැනදී ඇයි උණ්ඩ නාස්ති කරන්නේ?"
"ම්ම්... අනේ මන්ද..."
"හිතෙන්නේ නැද්ද 'මරනවා' වෙනුවට ඔයා වෙන දෙයක් කිවුවානම් මම පින්තූර එවන එක නවත්තන්නේ නැති වෙයි කියලා?"
"මරනවා කියන එකේ තේරුම ජීවිතේ නැති කරනවා කියන එකම නෙවෙයි. හරියට මං කිවුවා වගේ කියනකොට... ඒක හරි ආදරණීයයි. මං වැරදිද?"
"ඔවු, මට ඔයා කියන දේ තේරෙනවා. එහෙම දෙයක් තියෙනවා තමයි, ඒත් ඒකත් fundamentally තර්ජනයක්."
"නැහැ... ඒ ඔයාට දැනෙන විදිය..."
"හරි, මම ඒ ඔයා කියන ආදරණීය විදිහට මරන්න ඉඩ ඇරියා කියමු. එතකොට මොකද වෙන්නේ? ඊට පස්සේ මොකද වෙන්නේ?"
"එක, මං කිවුවට මරනවා කියලා, මට එන්න බෑ කියලා ඔයා දන්නවා... දෙක, ඒක කිවුවේ බොක්කෙන් කියලත් ඔයා දන්නවා... තුන, ඔයාව මැරුවොත් මට ජීවිතයක් නෑ කියන එකත් ඔයා දන්නවා... හතර, ඒක මං කිවුවේ ආදරෙන් කියන එක ඔයාට නොතේරෙනවා නෙවෙයි. ඒ මං කියලා ඔයා දන්නවා... එතකොට...?"
"එතකොට මම කියයි 'මරන්න' කියලා. එතකොට?"

"මැරෙයි මං..."

-----

Tuesday, May 1, 2018

" මේක අපේ රට නෙවෙයි මල්ලි, මේක උන්ගේ රට. අපි පණුවෝ " -නාමල් ජයසිංහ, 'සහෝදරයා '-


බුම්මන් ඉන්නවා අහස දැන්
මුළු රෑම වලහින්නක් වගේ අඬලා...
අපි ඉතින් බලන් ඉන්නවා
ඕවා ඔක්කොම බත් හැලිය ඉදෙනකම්
විතරක් හින්ද.
ඕවා ඔක්කොම,
තව ඡන්දයක් එනකම්,
තව බද්දක් ගහනකම්,
රුපියල තව ටිකක් පා වෙනකම්,
ඒ පාවෙන සැහැල්ලුව ඔලුවට දැනෙනකම්
ඒ දැනෙන අතරේ උන් තව බැංකුවක් කොල්ල කනකම්
විතරක් හින්දා...
ඕවා  ඔක්කොම
තව පොහොට්ටුවක් පිපෙනකම්,
අලියෙක් මදකිපෙනකම්,
සීනුවක සද්දෙට
හක්ගෙඩියක් එකතු වෙනකම්
(අප්‍රමාණ භක්තියට) ඒ සද්දෙට මයිල් කෙලින් වෙනකම්
විතරක් හින්දා...
ඕවා ඔක්කොම,
ඉල් මහේ රත් මල් පිපෙනකම්,
හරි කම්කරු දිනේ හොයාගන්නකම්,
බණ පදයක් ගිරිය යටින් ඇහෙනකම්,
බොක්කේ දඩමස් දිරවනකම්
අපේ බඩගිනි නිවෙනකම්
විතරක් හින්දා...

අපි ඉතින් බලන් හිටියා
නිදහස ලැබෙනකම්,
රට පෙරට යනකම්,
විප්ලවය දිනනකම්,
යහමින් පාලනය කරනකම්,
දහ සැරේකට වඩා පැරදී පැරදී දිනනකම්
ඕවා ඔක්කොම අපිට සෙතක්
වෙනකම් විතරක් හින්දා

තවත් ඉතින් බලන් ඉමු,
ආයෙත් ඉර රාශි පනිනකම්,
පොලිස්පති ගෑ තෙල් හිසෙන් බේරෙනකම්,
තව අවුරුද්දකට හොඳින් නාගන්නකම්,
තවත් තුන්-මඟුලක් එනකම්,
මේවා ඔක්කොම
අපේම ගොං-කන් හින්දා.

-උත්තරාදෙවී-

01.05.2018 (කම්කරු දිනය සමරන උන්ට)
05.01.2018 (කම්කරු දිනය නො-සමරන උන්ට)