දෙපා තමන් හට යා යුතු තැනට හසුරුවා ගැනීමට තවමත් වෙර දරන ඔහුට, එහි පර තෙරට පැමිණි ඇය, එවන් එක් ගමනකදී ඈ කාචයේ සටහන් කරගත් එක රූපයක් පෙන්විය.
ඔහුගේ වියලි, අක්‍රිය දෙපා මෙන් නැති, නොඉවසිලිමත්, පිපාසිත ඇස් මත වැකුණු ඒ රූපයට ජනිත කල හැකි වූ පද සීමාන්තික විය.
"ආ...ඉරිසියයි" '
"එහෙනම් ආයේ එවන්නේ නෑ." ඈ ප්‍රත්‍යුත්තර බැන්දාය.
"අනේ" ඔහු ලයාන්විතව ඇරඹි ඒ වැකිය හදිසියේ පිතෘමූලික සමාජ සංකල්ප වලින් කෙලෙසා දමන ලදින්, එය අවසන් වූයේආරම්භක ලයාන්විත බවේ අනිත් කෙලවරෙනි. "මරනවා."
මෙවර වදන් ප්‍රවේශම් කරගත් ඇයට සිනහව ප්‍රවේශම් කරගත නොහැකි විය.
"එකටත් හිනා වෙනවා."
"ඔවු ඉතින් මට ප්‍රශ්නයක් නෑ මැරුවට. ඔයාට තමයි වදේ. ඒකයි හිනා ගියේ."
"ආ...ඇයි මට වදේ?"
"මරන්නයි, මරපුවා අස් කරන්නයි, මැරුවා කියලා හිත හිත ජීවත් වෙන්නයි, ඒ නිසාම ටික ටික මැරෙන්නයි...වදේ නේ."
"නැහැ. මැරුවට පස්සේ මං ජීවත් වෙයි කියලද හිතන්නේ? මට එච්චර හයියක් නෑ."
"වචන පාවිච්චි කරන්න පුළුවන් තැනදී ඇයි උණ්ඩ නාස්ති කරන්නේ?"
"ම්ම්... අනේ මන්ද..."
"හිතෙන්නේ නැද්ද 'මරනවා' වෙනුවට ඔයා වෙන දෙයක් කිවුවානම් මම පින්තූර එවන එක නවත්තන්නේ නැති වෙයි කියලා?"
"මරනවා කියන එකේ තේරුම ජීවිතේ නැති කරනවා කියන එකම නෙවෙයි. හරියට මං කිවුවා වගේ කියනකොට... ඒක හරි ආදරණීයයි. මං වැරදිද?"
"ඔවු, මට ඔයා කියන දේ තේරෙනවා. එහෙම දෙයක් තියෙනවා තමයි, ඒත් ඒකත් fundamentally තර්ජනයක්."
"නැහැ... ඒ ඔයාට දැනෙන විදිය..."
"හරි, මම ඒ ඔයා කියන ආදරණීය විදිහට මරන්න ඉඩ ඇරියා කියමු. එතකොට මොකද වෙන්නේ? ඊට පස්සේ මොකද වෙන්නේ?"
"එක, මං කිවුවට මරනවා කියලා, මට එන්න බෑ කියලා ඔයා දන්නවා... දෙක, ඒක කිවුවේ බොක්කෙන් කියලත් ඔයා දන්නවා... තුන, ඔයාව මැරුවොත් මට ජීවිතයක් නෑ කියන එකත් ඔයා දන්නවා... හතර, ඒක මං කිවුවේ ආදරෙන් කියන එක ඔයාට නොතේරෙනවා නෙවෙයි. ඒ මං කියලා ඔයා දන්නවා... එතකොට...?"
"එතකොට මම කියයි 'මරන්න' කියලා. එතකොට?"
"මැරෙයි මං..."
-----